, , , , ,

චන්ද කින්නර තුළින් මතු වූ මාධව...

"නිදුක් මධුෂික" ගෙන එන ලද ජනප්‍රිය නිවේදක/රංගන ශිල්පී "මාධව විජේසිංහ" සමග පවත්වන ලද කතාබහ ඔබ වෙත මෙලෙස ගෙන එන්නට අවසර!
ඉෂාර ලක්මිණ


20160427-ent-57

"සුජාතා" ටෙලි නාට්‍යයේ "ශාඛ්‍යා"ගේ චරිතයෙනුත්, "තූර්යා" ටෙලිනාට්‍යයේ "අනුහස්"ගේ චරිතය වැනි ජනප්‍රිය චරිත නිරූපණය කළ ඔහු නිවේදනයෙකු ලෙසත්, රංගන ශිල්පියෙකු ලෙසත් බොහෝ දෙනා අතර ජනප්‍රියත්වට පත්විය. බොහෝ දෙනෙකු හොඳින් හඳුනන ඔහු මාධව විජේසිංහයි.

  • මාධව මුලින්ම හඳුනාගන්නේ රංගන ශිල්පියෙකු ලෙස?
පුංචි කාලේ අශෝක හඳගම මහත්තයාගේ "චන්ද කින්නර" කියන චිත්‍රපටයෙන් තමයි මම ක්ෂේත්‍රයට පැමිණියේ. එහෙත් ජනප්‍රිය වුණේ නිවේදකයෙකු ලෙස. පාසල් කාලෙදීම විවිධ අවස්ථාවල ස්වර්ණවාහිනි නාළිකාවේ හා සිරස නාළිකාවේ නිවේදක කටයුතුවලට දායක වුණා.
  • මෙම ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තුවක් තිබුණද?
එහෙම මුලින්ම බලාපොරොත්තු වුණේ නැහැ. දක්ෂතාවක් තිබුණා. ඒ ගමනට මගේ දෙමවුපියෝ උදව් කළා. රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට හැමවිටම වගේ නාට්‍ය ඉදිරිපත් කළා. ඒ තිබුණු කැමැත්තත් එක්ක මෙය නිරායාසයෙන්ම වෘත්තියක් බවට පත්වුණා.
  • මේ දිනවල සිදුවෙන වැඩකටයුතු ගැන කතා කළොත්?
දෙරණ "චැම්පියන් ස්ටාර්ස්" "ලිට්ල් ස්ටාර්ස්" යන වැඩසටහන්වලට සහභාගි වෙනවා. මේ දිනවල විකාශනය වන "වර්ණ" ටෙලිනාට්‍යයට දායක වෙනවා. ඒ වගේම "දූවිලි බෝනික්කා" "දාස්පති" කියන ටෙලිනාට්‍ය දෙකටත් දායක වුණා. ඉදිරියේදී එම ටෙලි නාට්‍යය විකාශය වෙයි.
  • ගීත රූප රචනාවලිනුත් මාධව වැඩි වශයෙන් දායක වෙනවා. එහිදී වැඩිපුර අවධානය යොමු වෙන්නේ?
කුමන ක්ෂේත්‍රයක වැඩ කළත්, කරන දේ හරියට කළ යුතුයි. මම නිර්මාණයක් භාරගැනීමේදී ඒ ගැන තොරතුරු සොයා බලනවා. හැමවිටම කල්පනාකාරීව තමයි නිර්මාණවලට දායක වෙන්නේ. එය ගීත රූප රචනාවලට දායක වීම ජනප්‍රියත්වය තීරණය වීමට ලොකු සාධකයක් වෙනවා. මීට වසර පහක පමණ කාලෙක ඉඳන් තමයි අපි ගීත රූප රචනා ගැන කතා කරන්නේ. ඊට පෙර ඒ ගැන අහන්න තිබුණෙ නැහැ. ගීත රූප රචනා වෙනමම කලාවක් බවට පත්වුණා. ගීත රූප රචනාවලට මිනිස්සු ළඟාවෙන්නේ රූපවාහිනියෙන් පමණක් නෙමෙයි. සමාජ ජාල හරහාත් ළඟා වෙනවා. රූපවාහිනිය නොබලන පිරිසක් අතර වුවත්, ගීත රූප රචනා ජනප්‍රිය වීමේ හැකියාව තිබෙනවා.
  • මාධව දායක වුණ චරිත ඒකාකාරී චරිත කියලා හිතෙන්නේ නැද්ද?
මෙය මේ ක්ෂේත්‍ර‘යේ බොහෝ දෙනෙකුට මුහුණදීමට සිදුවන දෙයක්. චරිතයකට දායක වුණාම එය මිනිසුන්ට මතක හිටින චරිතයක් බවට පත්වෙනවා. නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයන් චරිත තෝරාගැනීමේදී සංකේතාත්මකව ඔවුන් ඒ ඒ චරිත සඳහා යොදා ගන්නවා. අපි ඉදිරිපත් කරන චරිත තෝරාගන්න සහ කරන චරිතය විවිධත්වයකින් යුතුව කරන්න උත්සහ කරනවා. එහි සාර්ථකත්වය, අසාර්ථකත්වය ප්‍රේක්ෂකයන් තීරණය කරයි.
  • ඉදිරි බලාපොරොත්තු?
මම රඟපෑම වෘත්තියක් බවට පත්කරගත්තට, මම මාධ්‍ය හා තාක්ෂණය ගැන හැදෑරුවා. මගේ බලාපොරොත්තුව අධ්‍යක්ෂවරයෙකු බවට පත්වීමයි. දැනට මම මගේ වැඩ කටයුතු නිර්මාණකරණ කරන ආයතනයක් ආරම්භ කර තියෙනවා. ගීත රූප රචනා වගේම උත්සව අවස්ථාත් සංවිධානය කිරීම සිදුකරනවා. එහි අධ්‍යක්ෂණ කටයුතු, නිෂ්පාදක කටයුතු සිදුවෙනවා.
  • ඒ අතර සම්මාන බලාපොරොත්තුවක් තිබෙනවාද?
සම්මානයක් හිමිවෙන්න සුදුසු අවස්ථාවක් ආවොත්, සම්මාන හිමිවේවි. මම සම්මානයක් බලාපොරොත්තු වෙනවානම් බලාපොරොත්තු වෙන්නේ රංගනයට පෙර නිවේදනයෙන්. මම නිවේදනයට ආදරෙයි.


-නිදුක් මධුෂික


0 comments:

Post a Comment