, , ,

මගෙ හස්බන්ඩ් හංගන්න ඕන කමක් නෑ : Gossip Chat


ඇය සල්සපුනා ටෙලි සිතුවමේ මාෂාගේ චරිතය මවන තිළිණි පෙරේරායි.

* මාෂා කියන්නේ ටිකක් දඟකාර කෙනෙක්?

ටිකක්? මොන ටිකක් ද? හොඳටම දාංගලේ තියෙන කෙනෙක්. ඇය යම් යම් තැන්වලදී වැඩ කරන්නේ කොල්ලෙක් වගේ. මාෂාගේ හොඳම මිතුරිය තමයි නර්මදා. ඒ චරිතයට පණ පොවන්නේ අමායා අධිකාරි. ඉතින් මාෂා කැමැති නැහැ නර්මදා ප්‍රශ්නවලට පැටලෙනවට.

* කොහොමද ඔබට මාෂාව හිමි වන්නේ?

මගේ හිතවත් සහාය අධ්‍යක්ෂවරයකු ඉන්නවා ප්‍රදීප් කියලා. ඔහු තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. හෙට ෂූටිං තියෙනවා නම් අද මට දැනුම් දුන්නේ. මුලදී හිතුණා යන්න බෑ බෑ කියලා.

* ඒ ඇයි?

මම රූපලාවන්‍ය පිළිබඳ පාඨමාලාවක් කරනවා. මට ඒක එක දිගට කරන්න ඕනෑ. නමුත් ෂූටිං වැටුණොත් මට ඒ කෝස් එක කරන්න බැරි වෙනවනෙ. ඒකයි. නමුත් හස්බන්ඩ් මට හොඳ දෙකක් කියලා සල්සපුනා නාට්‍යයට යන්න කිව්වා. ඇත්තෙන්ම කිව්වොත් ඔහු නිසයි ගියේ.

* හස්බන්ඩ්ට ඕනෑ බව ජනප්‍රිය නිළියක් කරන්නද?

ඔව්. එයා ඒ වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරනවා. මාව සල්සපුනා ස්ක්‍රීන් ටෙස්ට් එකට එක්කගෙන ගියෙත් ඔහු. මං හිතනවා එයාගේ අරමුණ මාව මේ ක්ෂේත්‍රයේ හොඳ තැනක තියන්නයි.

* කොහොමද අමායා අධිකාරි එක්ක රඟපාන්න ලැබීම?

මට ඇය හිතුවාටත් වඩා සහාය ලබා දුන්නා. අමායා ඉතා හොඳ යෙහෙළියක්. සර්වසම්පූර්ණ සහාය ඇතිව අපි දෙන්නා රඟපානවා.

* ඔබ රූපලාවණ්‍ය පාඨමාලාවක් කරන්නෙ ඇයි? ව්‍යාපාර පැත්තට යොමු වුණොත් හොඳයි කියලා හිතුණද?

අපි අපේ රූපය හොඳට තියෙනකම් රඟපාන එක කරාවි. නමුත් ඊට පසුව මොකද කරන්නේ කියන කාරණාව මසිතට නැඟුණා. එහිදී මට හිතුණා අනාගතය වෙනුවෙන් යම් දෙයක් හැදෑරුවොත් හොඳයි කියලා. ඒකයි මෙය පටන් ගත්තේ.

* මේ පැනයට නිශ්චිත පිළිතුරක් දෙන්න. කලාවෙන් පමණක් ආර්ථිකය ගොඩ නගාගන්න අමාරුයි නේද?

ටිකක් අමාරුයි.

* සල්සපුනා ටෙලිසිතුවම වෙනුවෙන් ඔබ ත්‍රීවිල් පදවන්න පුරුදු වුණා කියලා ආරංචියි?

මට මේ ටෙලි නාට්‍යයට කතා කළෙත් හදිස්සියේ. ඒ වගේම තමයි පහුවෙනිදාට ත්‍රීවිල් එළවන දර්ශනයක් තියෙනවා කිව්වේ කලින් දවසේ රෑ හතට විතර. මට පුරුදු වෙන්න වෙලාවක් ඇත්තටම තිබුණේ නැහැ.

* එවලේ ඉඳන් ඔබ ගැහි ගැහි හිටියලු නේද?

ඇත්තටම ඔව්. මං මීට කලින් ත්‍රීවිල් පදවනවා තියා ඒ ගැන හිතලාවත් තිබුණේ නැහැ. එක අතකින් මට හිතුණා නිෂ්පාදන කණ්ඩායමේ අය ඔය වගේ කතාවක් කිව්වේ මාව බයිට් කරන්න කියලද දන්නෙත් නැහැ කියලා. කොහොම හරි මං හරිම තිගැස්මකින් හිටියේ. පහුවෙනිදා ලොකේෂන් ගියා. මෙන්න බොලේ කිව්වත් වගේ ත්‍රීවිල් එකක් තියෙනවා. ඒක හොඳටම අබලන් වෙච්ච එකක්. එතන හිටියා කුමාර කියලා අයියා කෙනෙක්. සෑහෙන වෙලාවක් මට පුරුදු කළා ත්‍රීවිල් එක එලවන්න. දැන් හරි.

* කොහොමද සල්සපුනා සඳහා ඔබට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. ළමා වැඩිහිටි බේදයකින් තොරව මගේ චරිතයට ප්‍රතිචාර දක්වනවා.

* ආදරවන්තියගේ චරිතයක් කරන්න ලැබුණාම දෙවතාවක් හිතනවාද?

කොහෙත්ම නැහැ. මං හරි ආසයි එවන් වූ චරිත කරන්න. මට ආදරවන්තියක් හැටියට කැමරාව ඉදිරියේ හොඳට රඟපාන්න පුළුවන් කියලා මට විශ්වාසයි.

* ඔබට සිනමාවට පිවිසීමට තවමත් මාර්ගය විවර වුණේ නැහැ?

චිත්‍රපට තුනකට මට ඇරැයුම් ලැබුණා. ඉන් එක චිත්‍රපටයක් වෙනුවෙන් මට පුහුණුවීම් කරන්නට සිදු වුණා. වසරක් පමණ මං ඊට සහභාගි වුණා. අන්තිමේ ඒ චිත්‍රපටය නිසා මට අනෙක් චිත්‍රපට දෙකටම යන්න බැරි වුණා. පුහුණුවීම් කළ චිත්‍රපටය කෙරෙන පාටක් පෙනුණේ නැහැ. ඉතින් පුහුණුවීම් කර කර ඉන්නත් බැහැනෙ. ඒකෙන් මං අයින් වුණා. මට ඒ චිත්‍රපටයත් නැහැ. අනෙක් චිත්‍රපට දෙකත් නැති වුණා. ඔන්න ඕකයි වුණේ. සිනමා ගමන පටන් ගත්තු තැනම නැවතුණා.

* ඔබ විවාහ වෙලා කියලා ප්‍රසිද්ධ කරන්නේ ඇයි? අයුතු යෝජනාවලින් බේරෙන්නද?

එහෙම උවමනාවෙන්ම බේරෙන්න කියා මගේ විවාහය ප්‍රකට කළේ නැහැ. අනික මට මේ වන තෙක් අයුතු යෝජනා ඇවිල්ලත් නැහැ. මගේ හස්බන්ඩ් ගැන ගොඩක් දෙනෙකු දන්නවා. අනික ඔහු ගැන හංගන්න මට වුවමනාවකුත් නැහැනෙ.

* වේදිකාවට ඔබ දැඩි අකැමැත්තක් පළ කරනවා කියලා දැනගන්න ලැබුණා. වැඩි දෙනෙක් නොකරන ප්‍රකාශයක් ඒක?

මං වේදිකාව ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. හැබැයි මට වේදිකා නිර්මාණයකට එකතු වන්නට ප්‍රියතාවයක් නැහැ. හේතුව මොකද මන්දා. වේදිකාවේ රඟපාද්දී රංගනය ගැන ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් කියලා මං දන්නවා. ඒත් මං වේදිකාවට අකැමැතියි.

* තිළිණි පෙරේරාව ඉදිරියේදී දැකගත හැකි නිර්මාණ මොනවාද?

ආදරය ගින්දරක් නාට්‍යයෙන් තමයි මාව ඊළඟට දකින්නට ලැබෙන්නේ. එහි විශ්වගේ අක්කා හැටියට මං එනවා.

සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - මාලන් කරුණාරත්න 

0 comments:

Post a Comment