, ,

අපේ එවුන් මරා ගත්තට වැඩක් නෑ උන් දෙන්නා යාළුවෝ


දැන් ඉතිං ඉෂිතා ගැන තවදුරටත් ලියලා වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් අපේ රටේ වැඩිමනක් උදවියට දැන් ඉෂිතගෙන් වැඩක් නැහැ. අර කතාවක් තියෙනවනෙ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා කියලා. අන්න ඒ දේ දැන් ඉෂිතාට සිද්ධ වෙලා ඉවරයි. කොහෙදෝ ඉඳලා ආපු ශිවන්යෙක් නිසා දැන් ඉෂිතා කැලේ. ඉෂිතාට දැන් සිද්ධ වෙලා තියෙන්නෙත් කාලයකට කලින් සෝප් ඔපෙරා ප්‍රේක්‍ෂකයන්ගෙ සිත්වල රැව් පිළිරැව් නඟමින් හිටපු, දැන් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නෙ නැති ශාන්තිට, ප්‍රවීනාට, තුල්සිට, චංගුමීට ආදී මෙකී නොකී අයට සිද්ධ වෙච්ච දේමයි. ඒත් ඉෂිතා මම නම් කියන්නෙ ඕවට ඔයා සැලෙන්නෙපා කියලයි.

දැන් අර ශිවන්‍යා කියන නයි නළඟන පෙණේ පුප්පගෙන දාන නයි නැටුම් දිහා අපේ රටේ ගොඩක් ඇන්ටිලා අංකල්ලා, නැන්දලා මාමලා, අක්කලා අයියලා වගේම නංගිලා මල්ලිලාත් බලාගෙන ඉන්නෙ කට ඇරගෙන. නයි නළාවක් ඔබන්න පවා පුළුවන් තරමට කට ඇරගෙන ඉතිං ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගෙ හිත් දිනා ගැනීමේ මෙහෙයුමට මේ වෙද්දී ඉෂිතා සහ ශිවන්යාගේ දරුණු සටනක් පටන් අරගෙන තියෙන්නෙ.

කොහොම වුණත් ඉෂිතා සටන පැරැදී ගෙන එන පාටක් පෙනෙන්න තියෙන නිසාම දැන් ඉතිං මේ ආටිකල් එකෙන් තවදුරටත් ඉෂිතා ගැන කතා කරන එකේ තේරුමක් නැති පාටයි. ඒ නිසා දැන් ප්‍රේක්‍ෂක අවධානය වැඩිපුරම දිනා ගනිමින් පවතින ශිවන්යාගෙ පැත්තට ටික ටික හැරෙන්න හිතුවා.

ශිවන්යා කියන්නෙ නාග කන්‍යාවියක්ලු. හැබැයි ඉෂිතා නිකන්ම නිකන් ගැහැනු ළමයෙක්. ශිවන්‍යාට වෙස් මාරු කරන්න පුළුවන්. ඉෂිතාට ඔය තියෙන ඩයල් එක හැරුණාම පුළුවන් අඬන මූණක් හදාගෙන තොල හප හපා අඬන්න විතරයි. ශිවන්‍යා එකම අරමුණක් වෙනුවෙන් මනුස්ස ලෝකෙට ආපු කෙනෙක්. ඉෂිතාට එකම අරමුණක් ඉස්සර තිබුණා. දැන් ඔහේ එහාට මෙහාට වැනෙනවා. කිසි කමකට නෑ. අර ශගූන් ඉන්න කාලෙ තමයි මරු. කොහොම වුණත් ශිවන්‍යා තරම් ඉෂිතා ලස්සන නැති බව නම් කියන්නම ඕනෙ. මේ වෙලාවෙ ඉෂිතා තියා ලෝකෙ ලස්සනම ගැහැනු ළමයා ප්‍රාදූර්භූත වුණත් එයාව පවා ශිවන්‍යාට සම කරන්න බැහැ.

ශිවන්යාගෙ චරිතය රඟපාන මවුනි රෝයි, ඉෂිතාගෙ චරිතය රඟපාන දිව්‍යංකා ත්‍රිපතිගෙ පරණ යාළුවෙක්. යාළුවෙක් කිව්වට මේ දෙන්නා ඔය අවෝර්ඩ් සෙරමනිවලදී, ෆිල්ම් රිලීසිං සෙරමනිවලදී මුණගැහුණට ඊට වඩා ලොකු යාළුකමක් නෑ. ඒ වුණාට මවුනි රෝයි සහ දිව්‍යංකා ත්‍රිපති 2010 අවුරුද්දෙ පැවැත්වුණු සුප්‍රසිද්ධ ඉන්දීය ටෙලි නාට්‍ය නිළියකගෙ මහා විශාල වෙඩිං එකක දෙවැනි මනාලියන් විදියට ඉඳලා තියෙනවා. මේ දෙන්නට අමතරව ඒ වෙඩිං එකේ දෙවැනි මනාලයන් තව හය දෙනෙක් හිටපු එක එච්චර වැදගත් නැහැ. ලෝකෙ වැඩිපුරම දෙවැනි මනාලියන් දෙවැනි මනාලයන් හිටපු වෙඩිං එක විදියට ගිනස් වාර්තාව තියපු රටක අපි ජීවත් වෙද්දී ඕක මොකක්ද? හරියට බේරෙ වැවට ගෙම්බෙක් වැටුණා වගේනේ.

මවුනි රෝයි ශිවන්යා විදියට රඟපාන කතාවෙ ඔරිජිනල්ම නම නාගීන්, දිව්‍යාංකා ත්‍රිපති ඉෂිතා විදියට රඟපාන කතාවෙ ඔරිජිනල් නම යේ හයි මොහොබතීන්. මේ දෙකම රූගත කෙරුණෙ එකම කාලෙ වුණත් යේ හයි මොහොබතීන් ටිකක් කලින් විකාශය වෙලා තියෙනවා. නාගීන් විකාශය වෙන්න පටන් අරගෙන තියෙන්නේ ඊට අවුරුද්දකට පස්සෙ.කොහොම වුණත් ශිවන්‍යා සහ ඉෂිතා ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගෙ හිත් දිනා ගැනීමේ මෙහෙයුමේ දැඩි සටන් සහිත සටන් බිමක ඉද්දී මවුනියි දිව්‍යංකයි දෙන්නම මේ කාලෙ හනිමුන් ගිහිල්ලලු.

-දුලංජලී මුතුවාඩිගේ

0 comments:

Post a Comment