,

විල්පත්තුවේ කොටින්ට ආදරය කරන සුරූපී තරුණිය.


ඇය ස්වභාවධර්මයට ආදරය කරන්නට ඉගෙනගන්නේ කුඩා අවධියේදීමය. ඒ ඇගේ මව හා පියා වනගතව ස්වභාවධර්මය විඳින්නට කුඩා කල සිටම ඇයට හුරු කළ නිසාය.

දශක තුනක පමණ කාලයක් පුරා විල්පත්තුවේ කොටින්ට පෙම් බඳින ඇය සධීනා අබේසූරිය නම් වෙයි.

“මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. මම ගෙදරත් පූසෝ ගොඩක් ඇති කරනවා. මට බල්ලො හත්දෙනෙක් හිටියා. ගෙදර මාරු කළාට පසුවයි, මම ගෙදර වැඩිකාලයක් රැඳිලා ඉන්නෙ නැති නිසයි බල්ලො ඇති කරන එක නැවැත්තුවා.

පූසන්ව ඇති කරන්න ලේසියි. මම කොටින්ට ගොඩක් ආදරය කරනවා. ලංකාවේ ඉන්න ලස්සනම සතා කොටියා කියලයි මට හිතෙන්නේ.

සත්තුන්ට කතා කරන්න බැහැනේ. උන්ට ඕනේ මොනවද, එපා මොනවද කියලා කියන්න බැහැ. ඉතින් මේ වගේ සත්තුන්ට රිද්දන්න අපට අයිතියක් නෑ. ඒ වගේම සත්තුන්ගෙන් වැඩ ගන්නත් අපට අයිතියක් නැහැ. මට අවුරුදු 07ක් විතර පොඩි වයසේ ඉඳන් මම කැළෑවේ යනවා. මට ජීවිතේ ගැන තාත්තා ඉගැන්නුවේ කැළෑවේදී. මගේ අම්මයි තාත්තයි කැළෑවට ගොඩක් ආදරය කළා. එයාලා සත්තුන්ට ගොඩක් ආදරය කළා. මාව පොඩි කාලෙ ඉඳන්ම කැළෑවට අරගෙන ගිහින් ස්වභාවධර්මයට ආදරය කරන්න ඉගැන්නුවා. මගේ අම්මයි, තාත්තයි මැරුණේ විල්පත්තුව කැළෑව මැද්දේ. ඒ 2006 මැයි මාසේ 27 වැනිදා. ත්‍රස්තවාදීන් අටවපු බිම් බෝම්බෙකට යට වෙලා මියගිය වනජීවී ලෝලීන් පස්දෙනා අතර ඒ දෙන්නත් හිටියා. 2006න් පස්සෙ මම අවුරුදු 06ක් යනතුරුකැළෑවේ ගියේ නැහැ. මට කැළෑවට මුහුණදෙන්න බැරිවුණා. ඊටපස්සෙ මම හිතුවා “නෑ, මම කැළෑවට ආපහු යනවා* කියලා. මගේ තාත්තා වනජීවී ඡායාරූපකරණයේ යෙදුණා වගේම පුංචි කාලෙ මම ඒ කැමරාවලින් ඡායාරූප ගන්න හුරුව ලබාගත්තා. ඒ හැර මම ඩිප්ලෝමා හදාරාලා නැහැ. මම තනිවම ඉගෙනගත්ත දෙයක් තමයි මේ. දැන් මට කැළෑව දැනෙන්නෙ ගෙදර වගේ. මට විල්පත්තු ගියාම දැනෙන්නෙ මගේ අම්මයි, තාත්තයි තාම එහේ ඉන්නවා කියලා. මගේ අම්මයි, තාත්තයි අවසන් හුස්ම හෙලුවේ විල්පත්තුව කැළෑවේ.

ඉතින් මට ඒ දෙන්නා ඉන්නවා වගෙයි දැනෙන්නේ.

මමකැළෑවේ සුන්දරත්වය විඳිනවා වගේම කැළෑව ආරක්ෂා කරන්නත් පුළුවන් හැමදේම කරනවා. විල්පත්තුවේ පුවරු බොහෝමයක් මමයි, මගේ සැමියයි එකතුවෙලයි ප්‍රදර්ශනය කරන්න කටයුතු කෙරුවේ. ඒ වගේම විල්පත්තුවේ ගිහින් එන අය විල්පත්තුව අපවිත්‍ර කරනවා. ඒවා සුද්ධ කරන කටයුතුත් කරනවා. මම හැමවෙලාවෙම මිනිස්සුන්ගේ පැත්තෙන් නොවෙයි, සතුන්ගේ පැත්තෙනුයි බලන්නේ.

සතාගේ පැත්තේ වැරැද්ද තිබුණත් මම සතා වෙනුවෙනුයි පෙනී සිටින්නේ. ඒ තරමට මම සතුන්ට ආදරෙයි. මම මාසෙකට තුන් වතාවකට වඩා විල්පත්තු යනවා. මම යාල වගේ වනාන්තරවලට යන්න කැමති නැත්තේ ඒවගේ ජිප් යනවා වැඩියි. අපි විල්පත්තු ගියත් ජීප්වල තමයි යන්නේ, නමුත් ගිහින් ජීප් එක තැනක නවත්තලා, මම තනියම විල්ලුවක් ළඟ පැය ගණන් නතර වෙලා ඉන්නවා. සමහරු අහනවා බය නැද්ද කියලා. කොටි, වලස්සු ළඟට එනවා. උන්ගෙන් අනතුරක් නැතිව ඉන්න එක වාසනාව කියලයි මම හිතන්නේ. ඕනම සතෙකුට තේරෙනවා ඌට කරදරයක්ද නැත්ද කියන එක. මම කාලයක් පුරා එක කොටියෙක්ව අධ්‍යයනය කළා. දවස් ගාණක් මේ කොටියාගේ චර්යාවන් මම අධ්‍යයනය කරමින් පිටිපස්සෙන් ගියා. දවස් දෙකක් විතර බඩගින්නේ හිටපු කොටියා මම හිටපු ජීප් එක ළඟම ගහකට නැග්ගා කටුස්සෙක් අල්ලගන්න.

ඒ වෙලාවේ කොටියාගේ සමබරතාව ගිලිහිලා මගේ ජීප් එකට වැටුණා. ඒ වෙලාවේ මගෙයි, කොටියාගෙයි ඇස් විනාඩියක් විතර ඇසට ඇස ගැටිලා බලාගෙන හිටියා. කොටියා මට හානියක් නොකර බිමට බැහැලා ගියා. මට කිසිම අනතුරක් කොටියා කළේ නැහැ. සමහරු කැළේ ගියාම සතෙක් ළඟට ආවොත් කෑ ගහනවා. නමුත් එහෙම කරන්න හොඳ නෑ. මම මුහුණු පොතේ captcha sadhi කියලා පිටුවක් පවත්වගෙන යනවා. ඒකෙ මම ගන්න ෆොටෝ සියල්ල එකතු කරනවා.

ගෑනු කෙනෙක් විදිහට ලංකාවේ වැඩිපුරම කැළෑවේ යන්නේ මම කියලයි මම හිතන්නේ. පොඩි කාලෙ ඉඳන්ම කැළෑවේ ගිහින් දැන් මට කැළෑවේ යන එක අමුතු දෙයක් නොවෙයි. ගොඩක් අය අහනවා තනියම කැළෑවේ යන්න බය නැද්ද කියලා.

මගේ අම්මයි, තාත්තයි මැරුණට පස්සෙ මම ජීවිතයට මුහුණදෙන්න පුරුදු වුණා. මගේ හිත ගොඩක් ධෛර්යමත් වුණා. මම තනියම ජීවිතයට මුහුණදෙන්න හුරුවුණා. මම තනියම වාහනේ පදවාගෙන විල්පත්තු ගිහින් කැළෑවේ ඉඳලා එනවා. මට බයක් නෑ. මට හිතෙනවා මගේ තාත්තා කොහේ හරි ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා මට කැළෑවේදී හානියක් වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මට හානියක් වෙන්න තියෙනවානම් ඒක නවත්වන්න බැහැ කියන එකත් මම විශ්වාස කරනවා. මම මේ අවුරුද්දෙ එක දිගට දවස් පහළොවක් කැළෑවේ ඉඳලා තියෙනවා. 2014 අවුරුද්දේ දවස් 60ක් එක දිගට විල්පත්තුවේ හිටියා. මගේ අම්මා, තාත්තා මැරුණු තැන නිසා විල්පත්තුවට යන්න ගොඩක් වෙලාවට යොමුවෙනවා. ඒ හැර ලුණුගම්වෙහෙර, ගල්ඔය, උඩවලව ආදී ප්‍ර‘දේශවල මම යනවා. මම ගොඩක් වෙලාවට ගෙදර රැඳෙන්නේ නැහැ. මගේ සැමියාට Outdoor Training කඳවුරක් තියෙනවා පන්නල. මම කැළෑවේ යන්නෙ නැති දවස්වලට පන්නල ගිහින් සැමියාට උදව් කරනවා. අපි දෙන්නා විදේශගත වුණත් යන්නෙ සත්තු බලන්නයි.

දැනට මම ගණන් කරන්න බැරි තරමට කොටින්ගේ ඡායාරූප අරන් තියෙනවා. විල්පත්තුවේ ඉන්න කොටි ගහනය එන්න එන්න අඩුවෙනවා. මම කැමතියි මේ ලෝකෙ මිනිස්සු අඩුවෙලා සත්තු වැඩි වෙනවානම්.මොකද මම පොඩිකාලෙ දැක්ක විල්පත්තුව නොවෙයි දැන් තියෙන්නේ. මිනිස්සු ගෙවල් හදන්න කියලා කැළෑව කපනවා.

ඒ අය දන්නෙ නැහැ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ක්‍රමයෙන් එන්න එන්න වැඩිවෙනවා. එතකොට තව තවත් කැළෑව කපනවා. මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට පදිංචි වෙන්න වෙනත් තැන් තියෙනවා.

ඒ වගේම මිනිස්සු කැළෑව බලන්න ගිහින් කෑගහලා, දඟලලා සත්තුන්ට කරදර කරනවා. ඒ වගේම පොලතින්, බෝතල්, ප්ලාස්ටික් ගිහින් දානවා. ඉස්සර මේ තරම් මිනිස්සු කැළෑවේ ඇවිදින්න ජිප්වල ආවෙ නැහැ. මේ තරම් ඡායාරූප ශිල්පීන් හිටියෙත් නැහැ. දැන්ගියාම මිනිස්සු බීලා කෑගහගහ දඟලනවා. මගේ ආසාව තමයි මේක නවත්වන්න පුළුවන් දවසක් උදාකරන එක. මිනිසුන්ට බීලා විනෝද වෙන්න ඕන නම් ඒවට ඕනෑ තරම් තැන් තියෙනවා.

කැලෑව කියන්නෙ ඒකට ගැළපෙන තැනක් නොවෙයි. මිනිස්සු හිතන්න ඕන අපි සත්තුවෙලා, සත්තු මිනිස්සු වුණා නම්. අපි කරන දේවල් අපට වෙනවට අපි කැමති වෙන්නේ නෑනේ. අපි හිතන්න ඕන අපට සත්තු වගේ දම්වැල් දාලා වැඩ ගත්තොත් කොහොමට දැනෙයිද කියලා. සතෙකුට ආදරෙයි නම් උන්ගෙ නිදහස සුරකින්න ඕන. මාත් ආසයි කොටියෙක් ඇති කරන්න. ඒ වුණාට ආදරයෙන් බලාගන්නවා කියන්නෙ උන්ට අදාළ නිදහස දෙන එකයි. ඉතින් අපි කැළෑවට ගිහින් ඒවා විනාශ කරන එක නොවෙයි කළ යුත්තේ. අලි මිනිස් ගැටුම එන්නේ මේ නිසයි. මිනිස්සු සත්තු ගැන හිතලා වැඩකළොත් මේ ප්‍රශ්න වෙන්නෙ නැහැ.

අපි කැළෑවට ආදරය නිසයි නිතරම කැළෑවට යන්නේ. කැළෑවේ තිබෙන නිදහස වෙන කොහේදිවත් ගන්න බැහැ. පොඩිකාලෙ ත්‍රස්තවාදී කලබල තිබුණත් අපි විල්පත්තු යන්න ආසවුණා. ඒ කැළෑවට ආදරේ නිසා.මම ඉස්සරහට අධ්‍යයනයක් කරන්න හිතන් ඉන්නවා විල්පත්තු කොටි ගහනය හා උන්ගේ චර්යා රටා ගැන. උන් ගැන මම දැන් අන්තර්ජාලයේ තියෙන දේ කියවනවා.

ලබන මාසෙ මම ඒක පටන්ගන්නවා. මේවා මම තනිව අධ්‍යයනය කරනවා. දැනට විල්පත්තුවේ කොටි 40ක් විතර මම ඡායාරූපවලට අරගෙන තියෙනවා. උන්ට මම විවිධ නම් තියලා තියෙනවා.

කොටි එකිනෙකාගේ පුල්ලි රටා වෙනස්. ඒ අනුව අඳුනාගන්න පුළුවන්. ළඟදි පුංචි කොටි පැටියෙක් නිරීක්ෂණය කළා. එයාට මම ක්ලියෝපැට්‍රා කියලා නම දැම්මා. Y,W වැනි පොදු නම්වලින් හඳුන්වන කොටිත් ඉන්නවා.

ඒ අයට මම වෙනම නම් තියලා තියෙවා. මම ඉල්ලනවා කැලෑ කපන එක නවත්වන්න කියලා. මොකද අපි අද කැලෑව ආරක්ෂා කළොත් තමයි අනාගතයට ඉතිරි වෙන්නේ. පදිංචි වෙන්න වෙනත් භූමි තියෙනවා.ඒ නිසා කැළෑව කපන්න එපා කියලයි ඉල්ලන්න තියෙන්නේ. මම වන සංරක්ෂණ නිලධාරීන් සමග තුවාල වුණු සතුන්ට ප්‍රතිකාර කරන්න කැළෑවේ ගිහින් තියෙනවා. ඒ සත්තු වෙනුවෙන් නිලධාරීන් ලොකු සේවයක් කරනවා.

ඒ වගේම මමත් හැකි හැම වෙලාවමක කැළෑව රැකගන්නයි වෙහෙසෙන්නේ. විනෝද වෙන්න කැළෑවට එන්න එපා. කැළෑවට ආදරේ නම් විතරක් කැළෑවට එන්න. එච්චරයි මම ස්වභාවධර්මයට ආදරේ අයගෙන් ඉල්ලන්නේ.


23456789101112

0 comments:

Post a Comment