, ,

කිල්ලට අසුවෙතැයි බියෙන් දරුවා ට පියාව තහනම් කළ නිළියක්.


මින් ටික කලකට පෙර ටෙලි නාට්‍ය රැසක පෙනී සිටි නවක නිළි භාග්‍යා ගුරුසිංහ විවාහවූයේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුත්‍රයා වූ පියුෂාන් සමගින්. මේ හේතු කොට විවිධ මිත්‍යා දේව විශ්වාස මත ඇගේ පළමු දරු උපතින් පෙර සහ පසු කාලය ගෙවුණ බව ඇය හෙළිදරව් කරයි. මෙම පුහු සහ මිත්‍යා විශ්වාස නිසා ඇය සැමියාව ගෙදරටවත් වැද්දාගෙන නැත.ඒ ගැන ඇය මෙසේ කියයි.

දැන් අම්මා කෙනෙක්. ඒ වෙනස දැනෙන්නේ කොහොමද?

ලොකු වෙනසක් දැනෙනවා. මම ගෙදර වැඩ මොනවත්ම කළ කෙනෙක් නෙවෙයි. දැන් තනියම කෑම හදනවා. බබාගේ රෙදි සේරම අතේ හෝදන්නේ. බබාගේ කාමරේ අස් කරනවා. මට නින්දක් නෑ. බබා රෑ දහයේ ඉඳලා පාන්දර පහ වෙනකල්ම ඇහැරිලා.

ඒ දැනෙන වෙහෙසත් එක්ක මවු පදවියේ වගකීම් දැනෙන්නේ කොහොමද?

අනේ නැහැ. හැමදේම කරලා ඉවර වුණාට පස්සේ පුදුම සතුටක් දැනෙනවා. පුතා ළඟින් හෙලවෙන්න හිතෙන්නේ නැහැ. හිතට පුදුම සතුටක් දැනෙනවා. වැඩ වැඩියි කියලා මට තරහා යන්නෙත් නෑ. පුංචි පුංචි වචන කිය කිය හුරතල් වැඩ කරද්දී බලාගෙන ඉන්න ආසයි.

තනියම වැඩ ගොඩක් කරද්දී ගෙදර හිටපු කාලේ මතක් වෙන්නේ නැද්ද?

මතක් වෙනවා. මට අම්මවමයි මතක් වෙන්නේ. එයා කොහොම කළාද කියලා හිතෙනවා. පුළුවන් හැමවෙලාවකම මම අම්මා ළඟට දුවන්නෙත් ඒ නිසා. දැන් තමයි තේරෙන්නේ අම්මා කොහොමද අපිව බලාගත්තද කියලා. ඒ කාලේ නම් පොඩ්ඩක් මොනවා හරි වුණත් "අම්මා මොනවද දන්නේ" කියලා අහනවා. දැන් තමයි තේරෙන්නේ දරුවෙක් හදන එක කොච්චර අමාරුද කියලා.

පුතා දැන් පුංචි පුංචි දඟ වැඩ කරනවා ඇති නේද?

ඔව්. එයා එක එක වචන කියනවා. කෑ ගහනවා. දැන් මාස හතක් නේ. වැඩිපුරම "ආව්, ආව්" කියලා තමයි කියන්නේ. දැන් ටික ටික හිටගන්නත් උත්සාහ කරනවා.

දඟ මල්ලක් නිසා හොඳට බලාගන්න ඕන ඇති නේද?

අම්මෝ දඟ මල්ලක් තමයි. ඇස් දෙක මොහොතකට එයාගෙන් අෑතට ගන්නේ නැහැ. ඇඳ උඩ තියලා තිබ්බාම කොට්ට උඩිනුත් පැනලා එන්න හදනවා. මම ඇඳෙන් නැඟිටලා එන්න හැදුවොත් එයාටත් මගේ පස්සෙන් එන්න ඕන. හොඳටම දඟයි.

පුතා නිසා ජීවිතේ සිද්ධ වුණු වෙනස්කම් මොනවාද?

පුරුදු විදියටම ගෙදර සහ මගේ පිරිසුදුකම ගැන හිතනවා. ඉස්සර මම හරියට ගමන් ගියානේ. හවස තුන හතර වගේ වෙද්දිත් ගෙදරින් පනිනවා. දැන් එහෙම නෑ. දැන් ගෙදරට වෙලා ඉන්නේ. කෑමත් අඩුවෙන් කන්නේ. බබා එක්ක කන්න බැහැ.

දැන් චුට්ටක් විතර මහත් වෙලානෙ..කෙට්ටු වෙන්න අදහසක් නැද්ද?

අදහසක් නම් තියෙනවා. දැන් අඩුවෙන් කන්නේ. ජිම් එකකට යන්න ඕන. ඒත් පුතාව දාලා යන්න බැහැ. එයා මම ළඟ නැත්නම් අඬනවා. හොඳට දන්නවා ළඟ නෑ කියලා. ගෙදර වැඩ ටික කරගන්නෙත් හොඳටම නින්ද ගියොත් විතරයි. නැත්නම් ළඟට වෙලාම ඉන්නවා.

පුතාට කෑම එහෙම කවද්දී කරදර කරනවද?

ඔව්. තවම බත් තලපනේ කන්නේ. පොඩ්ඩක්වත් කටේ තියන්නේ නැහැ. පලතුරු නම් කන්නම කැමැති නැහැ. කෑම කවන්න නම් හරිම අමාරුයි. කිසිම දෙයක් කන්නේ නැහැ. කෑම ටික කටට දාන්නත් අමාරුයි.

පුතාගෙ බාප්පා පුතාට ආදරෙයිද?

ඔව්. පියුෂාන්ගේ මල්ලි එයාට වඩා අවුරුදු විස්සක් බාලයි. එයා පහ වසරේ ඉගෙන ගන්නෙ. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණු ගමන්ම දුවගෙන එන්නේ පුතා ගාවට. කෑම කවද්දී සින්දු කියලා, නටලා බබාට කෑම කවන්න උදවු වෙනවා. පුතත් වෙන ළමයෙක් දැක්කත් හිතන්නේ එයාගෙ බාප්පා කියලා කෑ ගහනවා. හැබැයි මල්ලී කැමැති නැහැ බාප්පා කියනවට. එයා අයියා කියලා කියන්න පුතාට පුරුදු කරනවා.

කතරගම ජීවිතේ කොළඹ වගේම පහසුද?

කතරගම වැඩිය ඉන්නේ නැහැ. එහේ මෙහෙට වඩා වෙනස්. පසුගිය කාලෙම නියඟය තිබිලා දැන් වහිනවා. අපි දැන් ඉන්නේ පැලවත්තේ ගෙදර. ඉඳල හිටලා කතරගම යනවා. මම එහේ ඉන්න කැමැතියි.

කතරගම දේවාලයට සම්බන්ධ නිසාම පියුෂාන් මාස තුනක්ම පුතාගෙන් වෙන්වෙලා හිටියාලු නේද?

ඔව්. පුතා ලැබිලා මාස තුනක්ම පහුවෙනකල් කිලි. බබාගේ තාත්තටවත්, සීයටවත් එයාව බලන්න එන්න විදියක් තිබ්බේ නැහැ. මාස තුන පහු වෙනකල් එයාලා ඇඟිලි ගැන ගැන හිටියේ. මම පුතාව ලැබෙන්න ඉද්දී ක්ලිනික් ගියෙත් අම්මා එක්ක.

ඒ මාස තුන පියුෂාන් ඔයාවයි, බබාවයි දැකගත්තේ කොහොමද?

වීඩියෝ කෝල් තමයි. ෆොටෝ යවනවා. වීඩියෝ යවනවා. පුතා අතක් ඉස්සුවත් වීඩියෝ කරලා යවනවා. ඒ දවස්වල එයාට අපේ ගෙදර ගේට්ටුවෙන් ඇතුළට එන්න බැහැ. පියුෂාන් ගේට්ටුව ළඟ ඉන්නවා. අපි ඇතුළේ ඉඳලා බබාව පෙන්වනවා. මාස තුනම එහෙම තමයි කළේ.

ඒ මාස තුන අවසානේ පියුෂාන් පුතාව දැකපු මුල්ම දවසේ එයා මොනවද කළේ?

එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණා. දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ. රජෙක් එනවා වගේ. ආපු ගමන් බබාව අරගෙන ඉම්බා. බබාත් එකපාරම හූ කියලා සතුටින් කෑ ගැහුවා. එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේ. ඇඬුවෙත් නැහැ. ඒ වුණාට ඉතින් මට හරි පාළුයි.

පුතා නැතිව නිශාදී පුංචිට පාළු ඇති නේද?

අපි හැමදාම වගේ රෑට එහේ යනවා. කතරගම ඉද්දී නම් එන්න වෙන්නේ නැහැ. පුංචි දැක්කාමත් එහෙම තමයි. කෑ ගහනවා. පියුෂාන්ගේ තාත්තට සේරටම වඩා ආදරෙයි. තාත්තා බොරුවට ගණන් ගන්නේ නෑ වගේ ඉද්දී කෑ ගහනවා. මට තමයි පුතා ආදරේ නැත්තේ. මම කියන දේ අහන්නෙ නෑනේ.

නැවත රංගනයට එන්න අදහසක් නැද්ද?

මම නම් ආසයි. ඒ වුණාට රඟපාන්න ගත්තොත් මේ වැඩ ටික කරගන්න බෑ. අනික සමහර විට මම කතරගම යනවා. ඉතින් දින එහෙට මෙහෙට කරන්න වෙනවා. මාව අන්තිමට එයාලට වදයක් වෙයි. එක දිගට දින දෙන්නත් බෑ. ඉතින් රඟපෑවොත් ෂූටින් කරන මිනිස්සු අනාථයි.

යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඔව්. යාළුවොත් කියන්නේ රඟපාන්න කියලා. මම රඟපාන්නේ නැති එකට එයාලට දුකයි. මේ ළඟදිත් ඇවිල්ලා "භාග්‍යා ආයේ රඟපාන්න. ඔයා රඟපානවට අපි හරි ආසයි" කියලා කියනවා. කතරගමදී දේවාලෙට එහෙම ගියාම, එහේ අයත් රඟපාන්න කියලා කියනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

මොකුත් නෑ. මේ යන විදියට යනවා. මට තව දරුවෙක් ඕන. හැබැයි දුවෙක්ට තමයි ආස. දේවාලේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඉන්නවනේ. රට වටේම ඇවිදින්න ආසයි. ගේකුත් හදාගන්න ඕන.


0 comments:

Post a Comment